මුහුදු හා සාගර, පෘථිවි තලයේ ඇති අති විශාලතම සම්පතක් වේ. සිමා මායිම් නැති මෙම සාගර ජෛව විවිධත්වයෙන් අනුන ය. මිනිසාගේ අවශ්‍යතා, ආහාර වර්ග, විවිධ ස්වාභාවික සම්පත් හා රසායනික ද්‍රව්‍ය ලබා ගැනිමට ද ප්‍රවාහන කටයුතු සඳහා මාධ්‍යයක් ලෙස ද විනෝදාස්වාදය හා සංචාරකකටයුතු සඳහා ද මුහුදු හා සාගර බහුලව යොදා ගනි. එහෙත් මිනිසා විසින් සාගර අහිතකර අයුරින් භාවිතා කිරීම නිසා ඒවායේ පැවැත්ම අවදානම් තත්වයක පවති.
සාගර තුළ මිනිසාට ආර්ථිකමය ලෙසින් මෙන්ම ජෛව විවිධත්වය අතින් ද ඉතා ඉහළ වැදගත්කමක් සහිත පරිසර පද්ධති පිහිටා ඇත. මෙම පරිසර පද්ධති මගින් ජෛව විවිධත්වය පවත්වා ගැනීම මෙන් ම පෘථිවි වායුගෝලයේ හා දේශගුණයේ පැවැත්ම හා වාණිජමය හා ආර්ථික කටයුතු සඳහාත් තීරණාත්මක කාර්යභාර්යක් ඉටු කරයි.
ලෝකවාසි ජනයා විසින් වසරකට මුහුදු ආහාර වර්ග ටොන් මිලියන සියකට අධික ප්‍රමාණයක් පරිභෝජනයට ගන්නා අතර ලෝක ජනගහනයෙන් මිලියන 3.5ට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ප්‍රාථමික ආහාර ප්‍රභවය සඳහා මුහුද මත යැපෙයි. මුහුදු වෙරළ හා මුහුදු කරා පැමිණෙන සංචාරක කර්මාන්තය මගින් වාර්ෂිකව ඩොලර් මිලියන 10ක පමණ ආදායමක් ලබා දෙන අතර බොහෝමයක් සාගර ආශ්‍රිත සංචාරක කර්මාන්තය සිදු කරන රටවල් ඔවුන්ගේ මුලු ආර්ථිකයම මේ මගින් දියුණුවට පත් කර ගෙන ඇත. උදාහරණ ලෙස මාලදිවයින දැක්විය හැක.
සාගර ආශ්‍රිතව සිදු කරන විවිධ රැකියාවන් හේතු කොට ගෙන රැකියා අවස්ථා බිහි විම ද වැදගත් වේ. ඛනිජ තෙල් හා ස්වාභාවික වායුන් කර්මාන්ත, වරාය හා නැව් ගමනාගමනය, සාගර ආශ්‍රිත ඛනිජ සම්පත් නිධි, ධීවර කර්මාන්තය, අපද්‍රව බැහැර කිරීම හා සංචාරක කර්මාන්තය මගින් මිනිසුන් මිලියන ගණනකට රැකියා අවස්ථා ලබා දී ඇත.
අද මිනිසා භාවිතා කරන නිෂ්පාදනයන්ගෙන් රාශියක්ම මුහුදු හා සාගර වලින් ලබා ගන්නා ද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කොට ඇත. මුහුදු පැළෑටි වලින් නිස්සාරනය කරන ලද ද්‍රව්‍යයන් ගෙන් දත් බෙහෙත් අයිස් ක්‍රීම් හා පොහොර නිෂ්පාදනය සඳහා යොදා ගනී. දියවැඩියාව සඳහා ප්‍රතිකාර ලෙස යොදා ගන්නා ඉන්සියුලින් නිෂ්පාදනය සඳහා මත්ස්‍යයින්ගේ පිත්තාශය උපයෝගි කර ගනි. මිනිසාගේ ඖෂධාගාරය බවට පත්විමේ හැකියාවක් සාගර සතුව තිබේ.
මේ අයුරින් මිනිසාට සාගරයෙන් ලැබෙන ප්‍රයෝජන අති විශාලය. එහෙත් නොයෙක් මානව ආකල්පයන් හා ක්‍රියාකාරකම් හේතු කොට ගෙන වත්මනයේ සාගර හා මුහුදු වලට පවතින තර්ජන බොහෝ ය.
සාගර හා මුහුදුවල පවතින අතිවිශාල වු ධාරිතාවය නිසා ඒ තුළට අපද්‍රව්‍ය ඉහළ ප්‍රමාණයක් බැහැර කළ හැකි බවට මිත්‍යා විශ්වාසයන් බොහෝ දෙනෙකු තුළ පවති. එහෙත් සාගරවලට පාරිසරික බලපෑම් හා වෙනස් වීම් වලට ඔරොත්තු දීමේ සදාකාලික හැකියාවක් නොමැති බව පෙනී ගොස් ඇත.
මුහුදු හා සාගරවලට පවතින ප්‍රධාන තර්ජන
ඛනිජ තෙල් මගින් දුෂණය වීම
නැව් වලින් අහඹු ලෙස සාගරයට එකතු වන තෙල් ප්‍රමාණය වසරකට ගැලුමි මිලියන 7ක් පමණ වේ. එක් විශාල තෙල් ඉහිරිමකින් සැතපුම් ගණනක ප්‍රදේශයක වාසය කරන සාගර ජිවින් විනාශ විය හැකිය. සාගරයකට වසරකට එකතු වන තෙල් වලින් 5% ක් පමණ, විශාල තෙල් නැව් අනතුරු වලින් සිදු වේ.ඛනිජ තෙල් හා අපද්‍රව්‍ය මිශ්‍ර වු කර්මාන්ත ශාලා වලින් බැහැර කරන ජලය, තෙල් වලින් දුෂිත කුණාටු,රථ වාහන හා බෝට්ටු වලින් බැහැර කරන තෙල් මිශ්‍ර අපද්‍රව්‍ය, නාව්ක ගමනාගමන අපද්‍රව්‍ය, කැනීම් කටයුතු ආදී හේතු කොට ගෙන සාගර දුෂණයන් සිදු වේ.ඛනිජ තෙල් මගින් සිදු වන දුෂණය නිසා සාගර ආශ්‍රිත ජෛව විවිධත්වය අධික ලෙස තර්ජනයට ලක් වී ඇත.ඛනිජ තෙල් ශරීරයේ තැන්පත් වීම නිසා සාගර පක්ෂින්ට පියැඹිමේ හැකියාව ද ජලයේ පාවීමට ඇති හැකියාව ද නැති වී ජලයේ ගිලි මිය යයි.
සාගර ජීවින්ට හානිකර අපද්‍රව්‍ය
ප්ලාස්ටික් වැනි අහිත කර අපද්‍රව්‍ය හරිරගත විම නිසා සෑම වසරකම මිලියන දහස් ගණනින් මුහුදු පක්ෂින්, සාගරවාසි ක්ෂිරපායින්, මත්ස්‍යයින් මිය යනු ලැබේ. සමහර සාගර ප්‍රදේශවල සාගරවාසි කැස්බෑවන් විශාල ප්‍රමාණයක් පොලිතින් බෑග් ආහාරයට ගැනීම නිසා මිය යනු ලැබේ. ධීවර කර්මාන්තය නිසා මුහුදට එකතු වන ධිවර ආම්පන්නවල පැටලීම හේතුවෙන් සාගර වාසී සත්ත්වයින් අති විශාල ප්‍රමාණයක් මිය යනු ලැබේ. මීට අමතරව දිරා නොයන අපද්‍රව්‍ය සාගර පරිසර පද්ධතිය තුළ එකතු වීම නිසා එම පරිසර පද්ධතිය ද හායනයට ලක් වේ.
විෂ අපද්‍රව්‍යයන්
සාගර පරිසර පද්ධති තුළට බැහැර කරන විෂ අපද්‍රව්‍යයන් සාගරික ජිවින්ට මෙන් ම මිනිසාට ද අහිතකර වේ. විෂ අපද්‍රව්‍යය බොහෝමයක් සාගර පතුලේ තැන්පත් වන අතර පතුලේ ඇති ආහාර අනුභව කරන සාගර ජීවින්ගේ ශරිර තුළට විෂ ද්‍රව්‍යයන් එකතු විම සිදු වේ. දීර්ඝ කාලයක් විනාශ නොවී පවතින මෙම විෂ අපද්‍රව්‍යයන් ආහාර දාම තුලින් මිනිසා ආහාරයට ගන්නා මත්ස්‍යයින් වැනි සාගර ජීවින්ගේ ශරිර තුළට ද ඉන් පසු මිනිස් ශරීරය තුළ ද එක්රැස් විම සිදු වේ. මේ හේතුවෙන් සාගර අවට වාසය කරන ප්‍රජාවන් රාශියක් විවිධ ලෙඩ රෝගවලට හසු විය හැක. වෙරළාශ්‍රිත පරිසර පද්ධති දුෂණය විම නිසා සිදුවන මරණයන් හා ලෙඩ රෝග නිසා ඇමරිකානු ඩොලර් බිලියන 21.8 ක පාඩුවක් හැම වසරකම සිදු වේ.
සංරක්ෂණය
ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 200 දුර ප්‍රමාණයක් දක්වා මුහුදු කලාපය ශ්‍රී ලංකාවට අයත් විශේෂ ආර්ථික කලාපය ලෙස නම් කර ඇත. මෙම කලාපයේ පවතින ජීවී මෙන්ම අජීවී සම්පත් පාලනය කිරීමේ අයිතිය ද ශ්‍රී ලංකාවට පැවරී ඇත. මෙම කලාපය තුළ පවතින සියළුම ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා කළමනාකරණය කීරීමේ වගකීම ද ශ්‍රී ලංකාව සතු වේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආර්ථික කලාපය දළ වශයෙන් වර්ග කිලෝමීටර 437,400 ප්‍රමාණයක විහිදී ඇති අතර මෙය ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් 607ක ප්‍රමාණයක් වේ.
ශ්‍රී ලංකාව අවට සාගර කලාපය සංරක්ෂණය කීරීමට ගෙන ඇති පියවර
සාගරවාසී ජීවීන් මෙන්ම පරිසර පද්ධති ද ආරක්ෂා කර ගැනීමට බහු පාර්ශ්වික එකඟතාවයන් අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලංකාවට සම්බන්ධ වී පවතින මුහුදු හා සාගරවලට සම්බන්ධ ප්‍රධාන බහුපාර්ශික පරිසර එකඟතා ගිවිසුම් කිහිපයක් පහත දක්වා ඇත.
- තර්ජනයට ලක් වී ඇති ශාක හා සත්ත්ව විශේෂවල ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ සම්මුතිය (ITES)
- නැව් මගින් සිදුවන දුෂණයන් වළක්වා ගැනීමේ අන්තර්ජාතික සම්මුතිය (MARPOL)
- ගැඹුරු සාගරවාසි ජිවින් සංරක්ෂණය කීරීමේ හා ධීවර කර්මාන්තය පිළිබඳ සම්මුතිය
- සමුද්‍ර දුෂණයන් වැළැක්වීමේ අන්තර්ජාතික සම්මුතිය
මිට අමතරව ශ්‍රී ලංකා මුහුදු කලාපයේ වාසය කරන සාගරවාසී ජීවී විශේෂ හා සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා නීති පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වේ. මේ යටතේ හික්කඩුව ජාතික සමුද්‍ර උද්‍යානය, බොනවිස්ටා සමුද්‍ර රක්ෂිතය වැනි සමුද්‍ර ජීවින් හා පරිසර පද්ධති ආරක්ෂා කීරීමේ ස්ථාන පිහිටුවා ඇත.සංරක්ෂණ කටයුතු සඳහා රාජ්‍ය ආයතන, අන්තර්ජාතික සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ක්‍රියාත්මක වේ.උදාහරණ ලෙස පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍ර දුෂණ වැළැක්වීමේ දෙපාර්තාම්න්තුව, ලෝක සංරක්ෂණ සංගමය යනා දී දැක්විය හැක.
මුලාශ්‍ර
ලෝක සංරක්ෂණ සංගමය, ශ්‍රී ලංකා කාර්යාලය,ත්‍රෛමාසික පුවත් හසුන "හරිත හසුන" 2004, දෙවන කලාපය
Thank you madam for your great help which provided to me for my geography lessons. Very interresting facts! And much applicable to all human in the present complex und urbanized world.♥️
ReplyDeleteThank you madam for your great help which provided to me for my geography lessons. Very interresting facts! And much applicable to all human in the present complex und urbanized world.♥️
ReplyDelete