Tuesday, December 2, 2014

ශ්‍රී ලංකාවට ප්‍රාදේශිය සංවර්ධනයක් (Regional Development) අවශ්‍යය ඇයි ?

ප්‍රදේශය(Region) යන්න නිර්වචනය කිරීමේ දී විවිධ නිර්ණායකයන් ඔස්සේ අර්ථකතනය කරනු ලැබේ. ඒ අනුව ප්‍රදේශය(Area),කොට්ඨාශය(Divisition),පළාත(Province),කලාපය (Zone) සහ දිස්ත්‍රික්ක (District) යන වචන ප්‍රදේශයක් හැඳින්වීම සඳහා යොදා ගත හැක. ප්‍රදේශය භෞතික වශයෙන් අවකාශය තුළ සිමා සහිතව නිර්මාණය වු දෙයක් නොවන අතර අවකාශිය සංවර්ධනයේ දී සැලසුම්කරුවන්ගේ පරමාර්ථ අනුව ද දේශපාලඥයන්ගේ අදහස් හා පරිපාලන අවශ්‍යතා අනුව ද වෙනස් වේ.සැලසුම්කරුවන්ගේ අදහස් අනුව සංවර්ධන සැලසුම්කරණය සඳහා යොදා ගන්නා ප්‍රදේශයක් පහත ලක්ෂණ වලින් සමන්විත විය යුතු ය. එනම්,
  • භූගෝලීය වශයෙන් එය නොකැඩුණු ඒකාබද්ධ ප්‍රදේශයක් විය යුතු ය. 
  • ආර්ථික වශයෙන් සමජාතීය විය යුතු ය.එසේම සමාජීය හා සංස්කෘතික වශයෙන් සමාන බවක් තිබිය යුතු ය.
  • සම්පත් ප්‍රයෝජනයට ගැනීමට ප්‍රමාණවත් භුගෝලීය ඒකකයක් විය යුතු ය.
  • දත්ත එකතු කිරීමට හා විශ්ලේෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ඒකකයක් විය යුතු ය.
  • සංවර්ධන ක්‍රියාවලියේ දී ජනතාවගේ සහභාගීත්වය ලබා ගත භැකි ඒකකයක් විය යුතු ය.
ඊට අමතරව පහත සඳහන් කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. එනම්,
  •  ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ප්‍රමාණවත් ජනසංඛ්‍යාවක් සිටිය යුතු ය. 
  • ප්‍රමාණවත් ආර්ථික කටයුතු ස්ථානගත කිරීමට හැකි ප්‍රදේශයක් විය යුතු ය.
  •  පරිපාලන කටයුතු සැලසුම් කිරීමට හැකි ප්‍රදේශයක් විය යුතු ය. 
ඒ අනුව භූගෝලීය වශයෙන් ප්‍රදේශයක් හදුනා ගැනීමේ දී සැලකිය යුතු කරුණු කිහිපයකි. එනම් සමජාතීය බව, පිහිටීම, ප්‍රදේශයක විශාලත්වය හා ප්‍රදේශයේ මායිම ඒ අතරින් වැදගත් වේ.

සංවර්ධනය (Development) යනු බහුමානීය සංකල්පයකි. එනම් සමාජ ආර්ථික දේශපාලන සහ සංස්කෘතික යන සෑම අංශයක්ම සිදුවන ගුණාත්මක වර්ධනයක් යැයි සරලව හදුන්වා දිය හැක.ඩඩ්ලි සියස් (Dudley Seers) ට අනුව සංවර්ධනය යනු මානව පෞර්ෂත්වයේ විභවතාවයන් හදුනා ගැනීමත්, එය දුප්පත්කම, රැකියා විරහිතභාවය හා විෂමතාවය අවම කරීම තුළින් ළගා කර ගත හැකි විශිෂ්ට ක්‍රියාදාමයකි. Colm සහ Geiger, වෙනස සහ වර්ධනය සංවර්ධනය යනුවෙන් නිර්වචනය කර ඇත.

 ප්‍රාදේශීය සංවර්ධනය යනු සැලසුම්කරණය තුලින් ප්‍රාදේශීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට දරන ප්‍රයත්නයකි. ජෝන් ෆ්රෙඩීමාන් (John Friedmann 1964) ට අනුව ප්‍රාදේශීය සංවර්ධනය යනු ආර්ථික වර්ධනය යි. එක් එක් ප්‍රදේශවල පවතින විවිධත්වයට හා ආකර්ෂණයට අනුව ආර්ථික කටයුතු ස්ථානගත විමේ සෘජු ප්‍රතිඵලය වන්නේ ආදායම් ඉපැයීම, රැකියා අවස්ථා ජනනය, හා සුබ සාධනය යි. ඔහුට අනුව තව දුරටත් අවකාශීය සංවිධානය යනු විවිධ ක්‍රියාකාරකම් සහ අන්තර් ක්‍රියාවල ප්‍රතිඵලයක් බැවින් ප්‍රාදේශීය සංවර්ධනය යනු ඒවා ස්ථානගත වීම යි.සමස්තයක් වශයෙන් ගත් කළ ප්‍රාදේශීය සංවර්ධනය යනු යම් ප්‍රදේශයක ජීවත් වන ජනතාවගේ සමාජ ආර්ථික ජිවිතය දියුණු කිරීම හා ප්‍රසාරණය කිරීමේ ක්‍රියාවලිය යි.

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සංවර්ධනය ගැන සලකා බැලීමේ දී  ප්‍රදේශය යන්න නිර්වචනය කොට ඇත්තේ සැළසුම්කරණ පරමාර්ථයෙන් නොව හුදෙක් පරිපාලනමය කාර්යයන් සඳහා පමණි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ලෙස සැලකෙනුයේ පලාත් ය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීකයන් සංවර්ධන සැළසූම්කරණය සඳහා උචිත ද යන්න පිළිබඳව නොයෙක් මත පවතී.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ ප්‍රදේශීය සංවර්ධනයක  අවශය්‍යතාවය කෙරෙහි දැඩිව අවධානයට යොමුව ඇත. ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ ප්‍රාදේශීය ව්ෂමතාවය වර්ධනය වීම, භූගෝලීය විවිධත්වය, පාරිසරීක ප්‍රශ්න උග්‍ර වීම හා  තිරසාර සම්පත් කළමනාකරණයේ අවශ්‍යතාවය  පැන නැගීම හේතුවෙනි.

2 comments: