ශ්‍රී ලංකාවේ පාෂාණ, ඛනිජ හා පස
හැදින්වීම
පාෂාණයක් යනු, “ ස්වාභාවික ලෙස නිර්මාණය වූ එක් ඛනිජයක
හෝ ඛනිජ කිහිපයක එකතුවකි" (හේවාවසම්, 2015). පාෂාණවල සම්භවය හා වයනය අනුව, පාෂාණ ප්‍රධාන වශයෙන් ආග්නේය
(Igneous rocks), අවසාදිත (Sedimentary rocks) සහ විපරීත (Metamorphic rocks) යනුවෙන් වර්ග
කෙරේ. ශ්‍රී ලංකාවේ 90% ක පමණ භූමි ප්‍රමාණයක විපරිත පාෂාණ ව්‍යාප්ත වී ඇත. විපරීත
පාෂාණයක් යනු ඕනෑම පාෂාණයක් එය නිර්මාණය වූ උෂ්ණත්වය සහ පීඩන තත්ත්වවලට වඩා වෙනස්
වූ තත්ත්වවලට පත්වූ විට මුල් පාෂාණය වෙනස් වී නව පාෂාණයක් බවට පත් වීමයි (හේවාවසම්, 2015). විපරීතකරණයේ දී පාෂාණයේ ඇති ඛනිජ සංයුතියෙහි, ව්‍යූහයෙහි සහ
වයනයෙහි වෙනස්කම් සිදු වේ. ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක විකාශනය පිළිබඳව සලකා
බැලීමේ දී ශ්‍රී ලංකාව ගොඩ්වාලන්තයට අයත් ව දකුණු ඉන්දියාව, ඇන්ටාටිකාව, මැඩගස්කරය
සහ අප්‍රිකාව යන භූ කැබලි සමඟ එකට සම්බන්ධ වී එකම භූ තලයක් ලෙස පැවතුනි.
ගොඩ්වාලන්තය කොටස්වලට බිදීයාමට ප්‍රථම, එහි බොහෝමයක් පතුල් පාෂාණ භූ කාරක ක්‍රියාවලියන්ගේ
ප්‍රතිඵලයකින් විපරීතකරණටය ලක් වී ඇතැයි නොයෙක් අධ්‍යයන මගින් තහවුරු කර ඇත. මෙම
ක්‍රියාවලිය “පෑන්-අප්‍රිකානු පර්වතකාරක චලනය" (Pan-African orogeny) ලෙස හැදින්වේ. වසර මිලියන 200කට පමණ පෙර ඇති වූ කැඩීයාමක් නිසා ශ්‍රී
ලංකාව ගොඩ්වාලන්තයෙන් වෙන් වී, ඉන්දියාව හා එක්ව ඉන්දු-ඕස්ට්‍රේලියානු තලයත් සමඟ
සමකය දෙසට පාවී පැමිණ ඇත. ශ්‍රී ලංකාවේ ඇති පතුල් පාෂාණ ද භූ තල යා වීමෙන්
නිර්මාණය වූ අධි-ශ්‍රේණි පාෂාණවලින් යුත් “මොසැම්බික් තීරුවට" අයත් වූවකි. මීට
අමතරව, ජුරාසික්, මයෝසීන සහ චාතුර්ථික අවධි වල නිර්මාණය වූ අවසාදිත පාෂාණ ද ශ්‍රී
ලංකාවෙහි දක්නට ලැබේ. ඒ අනුව, ශ්‍රී ලංකාවේ පාෂාණවල සම්භවය, විපරිතකරණ ත්ත්වයන් හා
ව්‍යුහයන් පදනම් කොට ගෙන ප්‍රධාන පාෂණ කලාප හදුනාගෙන ඇති අතර ඒ පිළිබඳව මෙහි
විස්තර කෙරේ.
ඛනිජ යනු නියත රසායනික සංයුතියක් සහිතව අකාබනික ක්‍රියාවලියක්
මගින් නිර්මාණය වූ, ස්වාභාවික වශයෙන් පවතින ඝන ද්‍රව්‍යයක් වේ (හේවාවසම්, 2015). ඛනිජ, මුලද්‍රව්‍ය හෝ සංයෝග වශයෙන් ද ලෝහ හෝ
අලෝහ වශයෙන් ද පවතී. විවිධ යුගවලට අයත් ඛනිජ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ
පාෂාණ ආශ්‍රිතව දක්නට ලැබෙන අතර ඛනිජවල භෞතික ගුණ, රසායනික ගුණ හා නිෂ්පාදන අරමුණු
අනුව ඒවා වර්ග කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්, ප්‍රධාන වශයෙන් ප්‍රධාන
කාණ්ඩ තුනකට බෙදා මෙහිදී සාකච්ජා කෙරේ. තව ද, මව් පාෂාණයක් තුළ හෝ පාෂාණයකට බාහිරව
බලපාන විවිධ සාධක (දේශගුණය, ජීවින්, භූ ලක්ෂණ, කාලය සහ මිනිසා) හේතුවෙන් පාෂාණය
සෑදී ඇති ඒකාබද්ධතාවය දුර්වල වී පාෂාණය කැබලි වලට කැඩී බිදී යාමෙන් පසක් නිර්මාණය
විය හැක. මේ සදහා ජීර්ණය (weathering) නමැති සංසිද්ධිය
හේතුවන අතර එය භෞතික ජීර්ණය(physical weathering) හෝ
රසායනික ජීර්ණය (chemical weathering) විය හැක
(බණ්ඩාරනායක, 2012; කරුණාරත්න, 2009). Joffe J.S. විසින් 1949 දී ඉදිරිපත් කරන ලද නිර්වචනයට අනුව,
පස යනු "ඛනිජ සහ ඓන්ද්‍රීය සංඝටකවලින් සමන්විත, ස්තර ලෙස වෙන් කල හැකි,
රූපීය, භෞතික සහ රසායනික සංයුතියෙන් සහ ජෛවීය ලක්ෂණවලින් එක් එක් ස්තර අතර මෙන්ම
අභ්‍යන්තරයේ පිහිටි ද්‍රව්‍ය වලින් ද කැපී පෙනෙන වෙනස්කම් සහිත ස්වාභාවික වස්තුවකි"
(කරුණාරත්න, 2009). ශ්‍රී ලංකාවේ පළමු පාංශූ සිතියම ආචාර්ය සී. ආර්. පානබොක්කේ මහතා
විසින් 1971 දී ප්‍රකාශයට පත් කරන ලද අතර 1996 දී මහා පාංශූ ගණ 15 ක් හදුන්වා දී
ඇත. එම වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාවේ මහා
පාංශූ ගණ හා ඒවායේ ව්‍යාප්තිය පිළිබඳව නිදසුන් සපයමින් මෙහි දී පැහැදිලි කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාෂාණ වර්ග සහ එහි ව්‍යාප්තිය
පාෂණවල සම්භවය සහ ව්‍යාප්තිය අනුව ශ්‍රී ලංකාවේ පාෂාණ ප්‍රධාන
කාණ්ඩ 05කට වර්ග කර ඇත (හේවාවසම්,
2015). එනම්
1. ස්ඵටිකරූපි විපරිත පාෂාණ (Crystalline Metamorphic rocks/ Proterozoic basement rocks)
වසර මිලියන 1200-3000කට පමණ පෙර ප්රාග් කේම්බ්රියානු (Precambrian) යුගයට අයත් ආග්නේය සහ අවසාදිත
පාෂාණ විපරීතකරණයට භාජනය වීමෙන් නිර්මාණය වී ඇත. මෙම පාෂාණ වසර මිලියන 550-610 කට
පමණ පෙර විපරීතකරණය වී ඇත. මෙම විපරීතකරණය ඉතා අධික උෂ්ණත්ව තත්ත්වයන් (700-900 0C)
සහ ඉතා අධික පීඩන තත්ත්වයන් යටතේ දී (වායුගෝලීය පීඩනය 7000-9000)
සිදු වී ඇතැයි පිළිගැනේ. විවිධ නයිස් වර්ග, තිරුවානගල්, මාර්බල්, කොන්ඩලයිට්,
චාර්නොකයිට් මේ සඳහා උදාහරණ වේ(හේවාවසම්, 2015).
2. ආග්නේය ආක්‍රාන්ත පාෂාණ (Igneous intrusive rocks)
මෙම පාෂාණවල ව්‍යාප්තිය ඉතා සුළු වශයෙන් දැකිය හැකි අතර
මෙම පාෂාණවල වයස වසර මිලියන 550-610 ට වඩා අඩු විය හැක. ශ්‍රී ලංකාවේ ආග්නේය ආක්‍රාන්ත
පාෂාණවලට නිදසුන් ලෙස එප්පාවල ඇති ඇපටයිට් ඛනිජය අඩංගු කාබනයිට් පාෂාණ, ඩොලරයිට්
ඩයික සහ පෙග්මටයිට් පාෂාණ දැක්විය හැක (හේවාවසම්, 2015).
3. තබ්බෝව,ආඩිගම සහ පල්ලම ජුරාසික් අවසාදිත පාෂාණ (Jurassic sediments)
මෙම පාෂාණවල වයස වසර මිලියන 145-200 කට ආසන්න වේ (හේවාවසම්, 2015). ශ්‍රී ලංකාවේ වයඹ දිගට අයත් පුත්තලම නගරයට
ආසන්නව පිහිටි තබ්බෝව, ආඬිගම සහ පල්ලම යන ප්‍රදේශවල පහළ ක්‍රිටේසියස් ඉහළ ජුරාසික්
අවධියට අයත් අවසාදිත පාෂාණ (ශල්ක,මඩගල්,වැලිගල්) කුඩා අවසාදිත ද්‍රෝණි කිහිපයක
දක්නට ඇත.
4. යාපන හා මිනිහාගල්කන්ද මයෝසීන හුණුගල් තට්ටු (Tertiary sediments)
ශ්‍රී ලංකාවේ 10%ක පමණ භූමි ප්‍රමාණයක පැතිරී ඇති මයෝසීන
හුණුගල් අවසාදිත පාෂාණ ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරළ තීරයේ යාපන අර්ධද්වීපයේ සිට
පුත්තලම දක්වා පටු තීරුවක් ලෙස ත් සුළු වශයෙන් දිවයිනේ ගිනිකොණ දිග වෙරළේ
මිනිහාගල්කන්ද ප්‍රදේශය ආශ්‍රිතව ත් ව්‍යාප්ත වී ඇත. වසර මිලියන 5-23 පමණ වයසකින්
යුක්තය(හේවාවසම්, 2015).
5. චාතුර්ථික ආචිත/නිධි (Quaternary Deposits)
චාතුර්ථික නිධි බොහෝමයක් දිවයිනේ වයඹදිග, ඊසාන දිග සහ
නැගෙනහිර වෙරළ තීරවල පිහිටා ඇත. වයසින් වසර මිලියන 2කට වඩා අඩු ය. ඉල්මනයිට්,
රූටයිල්, මැග්නටයිට්, සර්කොන්, මොනොසයිට් සහ ගානට් වැනි ආර්ථික වශයෙන් වැදගත් වූ
ඛනිජ, මුහුදු වැලි සහ වැලි වැටිවල අඩංගු වේ.
මැණික් නිධි මුල් කාලීන හා වර්තමාන ගංගාවල
දියළු නිම්න හා පිටාර තැනි ආශ්‍රිතව තැන්පත් වී ඇත. මෙම චාතුර්ථික නිධි ප්‍රධාන
වර්ග 2 කි(කෙහෙල්පන්නල, 2013 cited Cooray, 1984
and Katupota, 1994). එනම්,
(1) දියළු, කලපු
සහ පුනීල මෝය තැන්පතු, වෙරළ පාෂාණ, වැළලුණු සහ මතුවී ඇති කොරල් පර මෙන්ම වෙරළ සහ
වැලි මැටි අවසාදිත තැන්පතු අඩංගු මෑතකාලීන අවසාධිත නිධි;
(2) රතු පාෂාණ
නිධි අඩංගු ප්ලයිස්ටෝසීන අවසාදිත, බොරලු (මුහුදු මළු සහ යුමුසු අඩංගු බොරලු
ඇතුලත්), රත්නපුර නිධි, ලැටරයිට්, ගැටිති සහිත යගල් සහ උද්ගත වෙරළ සහ වැලි වැටි
නිධි
වගු අංක 1 මගින්, ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක ස්වරූපයන්, ශිලා විද්‍යාවන් සහ සංකීර්ණයන් පිළිබඳව දක්වා ඇත.
වගු අංක 1: ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක
ස්වරූපයන්, ශිලා විද්‍යාවන් සහ සංකීර්ණයන්
කල්පය
(Eon) |
යුගය (Era) |
කාලච්ජේදය (Period) |
වකවානුව |
භූ විද්‍යාත්මක ස්වරූපයන්, ශිලා විද්‍යාවන්
සහ සංකීර්ණයන් |
පැනෙරොසොයික |
සේනොසොයික |
චාතුර්ථික |
මෑත |
දියළු, කලපු සහ මෝය නිධි, වෙරළ පාෂාණ,
වැළලුණු සහ මතු වී ඇති කොරපල් පර, වෙරළ සහ වැලි වැටි නිධි |
ප්ලයිස්ටෝසීන |
රතු තට්ටු, බොරලු (මළු බොරලු සහ යමසු
බොරලු ඇතුලත්ව), රත්නපුර තට්ටු, ලැටරයිට්, කඹුක් ගැටිති යගල්, උද්ගත වැල්ල සහ
වැලි වැටි තැන්පතු |
|||
තෘතියික |
මයෝසීන |
යාපන හුණුගල් සහ මිනිහාගල්කන්ද වැලිගල් |
||
මෙසෝසොයික |
ක්‍රිටේසියස් |
පහළ ක්‍රිටේසියස් |
තබ්බෝව තට්ටු සහ ආඬිගම-පල්ලම තට්ටු |
|
ජුරාසික් |
|
ඩොලරයිට් ඩයික |
||
පෑලියෝසොයික |
ක්රේම්බීය |
|
පෙග්මටයිට්, සයිනයිට්, අපර භූ කාරක ග්‍රැනයිට්(උදා:
අරංගල, තෝනිගල සහ බලංගොඩ ග්‍රැනයිට්), එප්පාවල කාබොනටයිට්(කාබනික පාෂාණ),
ක්ෂාරීය පාෂාණ, අඹගස්පිටිය වීපරිත පාෂාණ, ආසෝධිත චානොකයිට් දේහාන්තර පාෂාණ,
ඇනහිටි චානොකයිට් |
|
ප්රොටෙරෝසොයික |
ප්රාග් ක්‍රේම්බ්‍රීය |
නව ප්රොටෙරෝසියක යුගය |
වන්නි සංකීර්ණය |
|
මධ්‍ය ප්රොටෙරෝසියක යුගය |
විජයානු සංකීර්ණය |
|||
පූරා ප්රොටෙරෝසියක යුගය |
උස්බිම් සංකීර්ණය |
මුලාශ්‍රය: කෙහෙල්පන්නල,
2013 cited Cooray, 1984 and Katupota, 1994
ශ්‍රී ලංකාවේ ප්රාග්කේම්බීය පාෂාණ හෙවත් විපරිත පතුල් පාෂාණවල සම්භවය, විපරිතකරණ ත්ත්වයන් හා ව්‍යුහයන් පදනම් කොට ගෙන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාෂණ කලාප (Lithological units) සතරක් හදුනාගෙන ඇත (සිතියම් අංක 1). එනම්,
1. උස්බිම් සංකීර්ණය (Highland Complex)
2. වන්නි සංකීර්ණය (Wanni Complex)
3. විජයානු සංකීර්ණය (Vijayan Complex)
4. කඩුගන්නාව සංකීර්ණය (Kadugannawa Complex)
විවිධ අධ්‍යයනයන් මගින් ශ්‍රී ලංකාවේ
විපරිත පාෂාණ විවිධ අයුරින් වර්ගීකරණය කර ඇත. උදාහරණ ලෙස ඇඩම්ස් එෆ්. ඩී. (1929),
කෝට්ස් ජේ. එස්. (1935), වාඩියා ඩී. එන්. (1942), කුරේ පී. ජී. (1962,1984) සහ
විතානගේ පී. ඩබ්. (1972,1978). ජපන්-ජර්මන්-ශ්‍රී ලංකා ඒකාබද්ධ පර්යේෂණවල ප්‍රතිඵලයක්
ලෙස, 1991 සහ 1994 වසර වලදී ශ්‍රී ලංකාවේ විපරිත පාෂාණවල වර්ගීකරණය සංශෝධනය කරන
ලදී. ලාංකේය භූ විද්‍යා පර්යේෂකයන්ගේ පොදු එකගතාවයකට අනුව නිල වශයෙන් පිළිගැනුණු
නව නාමකරණය ලෙස එය නිර්දේශ කර ඇත(හේවාවසම්, 2015). ඒ
අනුව, විපරිත පාෂාණවල විපරිතකරණ තත්ත්වයන් සහ කබොල නිර්මාණිත වයස් (Crustal
formation ages) නිර්ණයන් පදනම් කොට උස්බිම් සංකීර්ණය, වන්නි
සංකීර්ණය, විජයානු සංකීර්ණය සහ කඩුගන්නාව සංකීර්ණය යනුවෙන් ප්‍රධාන පාෂාණ කලාප
හතරක් හදුන්වා දී ඇත(හේවාවසම්, 2015).
සිතියම් අංක 1: ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාෂාණ කලාප
මුලාශ්‍රය: Arjuna's Atlas of Sri Lanka
I.
උස්බිම්
සංකීර්ණය
මෙය ප්‍රධාන පාෂාණ කලාප අතුරින් පැරණිම පාෂාණ කලාපය (වසර බිලියන 2.0-3.4 අයත්) ලෙස නම් කෙරේ (කෙහෙල්පන්නල, 2013 cited Milisenda et al., 1994). මෙම සංකීර්ණය, රට මැද පිහිටා ඇති අතර නැගෙනහිර පැත්තෙන් විජයානු සංකීර්ණයෙන් ද වයඹ හා බටහිර පැතිවලින් වන්නි සංකීර්ණයෙන් ද සීමා වී තිබේ. තව ද උස්බිම් සංකීර්ණ පාෂාණ, විජයානු සංකීර්ණය ඇතුලත දිවයිනේ ගිණිකොන දිශානුගතව පිහිටි බුත්තල, කතරගම සහ කුඩා ඔය යන ප්‍රදේශ අසලින් ද සොයා ගෙන ඇත. මෙහි දැකිය හැකි පාෂාණ වර්ග ලෙස තිරුවානා, මාබල්, ගානට් සිලිමනයිට් නයිස්, ගානට් බයොටයිට් නයිස්, කෝඩියරයිට් නයිස් (නිරිත දිග), ස්කැපොලයිට්-වුලැස්ටොනයිට් පාෂාණ (නිරිත දිග), තිරුවානා-ෆෙල්ඩ්ස්පතික නයිස්, චානොකයිට්ස්, මෙටාවොල්කනික් මැෆික්-ග්රැනිටොයිඩ් ආස්තරයන්, මෙටාබේසයිට්, මෙටාගැබ්රොස්, මෙටාඩයොරයිට්, මැෆික් ඩයික ළාබාල ග්‍රැනයිට් පෙග්මටයිට් සහ සයිනයිට් උදාහරණ ලෙස දැක්විය හැක. චානොකයිට් සහ චානොකයිටික පාෂාණ වලින් උස්බිම් සංකීර්ණයේ විපරීත ආග්නේය පාෂාණ වැඩි පුර ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. මෙම සංකීර්ණයට අයත් ප්රාග් කේම්බ්‍රීය පාෂාණ විපරීතකරණයට (ග්රැනියුලයිට් පරිදර්ශ යටතේ) ලක් වී ඇත්තේ කිලෝබාර් 7-10 අතර පැවති පීඩන තත්වයක සහ සෙල්සියස් 7100-9000 අතර උෂ්ණත්වයක් යටතේ ය (කෙහෙල්පන්නල, 2013).
II.
වන්නි
සංකීර්ණය
වන්නි සංකීර්ණය, උස්බිම් සංකීර්ණයෙන් බටහිර දෙසට
හා පශ්චාද් කාලීන භූ කාරක වශයෙන් මුදුන වසා පැතිර පවතී (කෙහෙල්පන්නල, 2013). මෙය උස්බිම් සංකීර්ණය ත් මයොසීන හුනුගල් තීරය
ත් අතර පිහිටා ඇත. උස්බිම් ශ්‍රේණීයේ වීපරිත තත්ත්වයට වඩා වන්නි සංකීර්ණයේ
වීපරීතකරණ තත්ත්වය අඩු වුවත් මේ අතර පැහැදිලි වෙනස්කම් හදුනා ගත නොහැක. මෙහි දැකිය
හැකි පාෂාණ වර්ග වනුයේ තිරුවාණ, කැල්ක්-සිලිකේට් නයිස්,
කෝඩියරයිට් (දිය තරිප්පු) නයිස්, සුළු මාබල්(කිරිගරුඬ), ගානට්-සිලිමනයිට් නයිස්, ගානට් බයෝටයිට් නයිස්, ක්වාට්සෝ-ෆෙල්ඩ්ස්පතික නයිස්, ඇපටයිට් අඩංගු මාබල්, මෙටාග්රැනයිට්(රෝස ග්‍රැනයිට්
අඩංගු), ග්රැනිටොයිඩ් නයිස්, චානොකයිට්, මෙටාඩයොරයිට්, ඇම්ෆිබොලයිට්,
මෙටාගැබ්රෝස්, මිග්මටයිට්, මොන්යෝඩයරයිට්, ක්වාට්ස් මොන්සොඩයරයිට්, මැග්මටික්
ඇල්කලයින් පාෂාණ, කාබොනේටයිට්, මැෆික් ඩයික් සහ පෙග්මටයිට් (කෙහෙල්පන්නල, 2013 cited Kehelpannala, 1998).
මෙම පාෂාණ බොහෝමයක් වසර බිලියන 1.0-2.0 අතර පරාසයක පැවති
ආදර්ශ යුගවලට අයත් වේ. තව ද මෙම සංකීර්ණයට අයත් පාෂාණ උෂ්ණත්වය සෙල්සියස් අංශක 600-900
අතර සහ පීඩනය කිලෝබාර් 3.5-7.5 අතර
තත්ත්වයක දී විපරීතකරණයට භාජනය වී ඇත (කෙහෙල්පන්නල,
2013).
III.
විජයානු
සංකීර්ණය
විපරීත වූ ආග්නේය පාෂාණවලින් සමන්විත මෙම සංකීර්ණය
උස්බිම් ශ්‍රේණීයට නැගෙනහිරින් හා වයඹ දිගින් ව්‍යාප්ත ව ඇත. ග්රැනිටොයිඩ් නයිස්,
ඕගන් නයිස්, මෙටාමොන්සොනයිට්, මිග්මටයිට්ස්, සුළු තිරුවානා, කැල්ක්-සිලිකේට් පාෂාණ, ක්වාට්ස්-ෆෙල්ස්ඩ්පතික
නයිස්, ඩොලරයිට් ඩයික සහ පෙග්මටයිටිස් වැනි පාෂාණ වර්ග මෙහි දැකිය හැක (කෙහෙල්පන්නල, 2013 cited Kehelpannala, 1998).
මෙහි අන්තර්ගත පාෂාණවල ක්වාට්සයිට් හා සිලිකේට් දක්නට ලැබේ. උස්බිම් ශ්‍රේණියට
සාපේක්ෂව වයසින් අඩු පාෂාණ කලාප මෙම සංකීර්ණයට අයත් වන අතර මේවා අයත් ආදර්ශ
යුගයන්හි පරාසය වසර බිලියන 1.0 සිට 1.8 දක්වා වේ. තව ද, මෙම සංකීර්ණයට අයත් මෙටාග්රැනිටොයිඩ්
පාෂාණ වසර මිලියන 1100-1000 ත් කාල වකවානුවට අයත් වේ(කෙහෙල්පන්නල,
2013).
IV.
කඩුගන්නාව
සංකීර්ණය
විවිධ අධ්‍යයනයන් (උදා: Kehelpannala, 1997; Kleinschrodt et al., 1991) මගින් කඩුගන්නාව සංකීර්ණය වන්නි සංකීර්ණයට ඇතුලත් කල ද පාෂාණවල විපරිතකරණ තත්ත්වයන් සහ කබොල නිර්මාණිත වයස් (Crustal formation ages) නිර්ණයන් පදනම් කොට, මෙය වෙනම සංකීර්ණයක් ලෙසට, ලාංකේය භූ විද්‍යා පර්යේෂකයන්ගේ පොදු එකගතාවයකට අනුව නිල වශයෙන් පිළිගෙන ඇත. ඒ අනුව මෙම සංකීර්ණය කඩුගන්නාව සංකීර්ණය හා උස්බිම් සංකීර්ණය අතර පිහිටා ඇති කුඩා ඒකකයක් වන අතර හෝන්බ්ලේන්ඩ් නයිස්, හෝන්බ්ලේන්ඩ්-බයොටයිට් නයිස් මෙම සංකීර්ණයේ අන්තර්ගත වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඛනිජ සහ ව්‍යාප්තිය
ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඛනිජ සම්පත් ප්‍රධාන
කාණ්ඩ 03කට වර්ග කර දැක්විය. එනම්,
1. බලශක්ති ඛනිජ (ඉන්ධන ඛනිජ)
2. ලෝහමය ඛනිජ
3. අලෝහමය ඛනිජ (ලෝහමය නොවන ඛනිජ)
1. බලශක්ති ඛනිජ
ගල් අඟරු, ස්වාභාවික වායුව (ගෑස්), ජීර්ණක (පීට්), ඛනිජ
තෙල් සහ න්‍යෂ්ටික අමුද්‍රව්‍ය ප්‍රධාන බලශක්ති ඛනිජ සම්පත් වලට උදාහරණ වේ.
i.
ජීර්ණක
(පීට්)
වගුරු ශාක වැළලීයාමෙන් සහ ඒවා දිරායාමෙන් ජීරණය වූ
ජීර්ණක පීට් ලෙස හැදින්වේ. මුතුරාජවෙළ ප්‍රදේශයෙන් මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ද හෝර්ටන්
තැන්න, දියතලාව, බණ්ඩාරවෙල හා නුවරඑළිය යන ප්‍රදේශ වලින් සිමීත ප්‍රමාණයකින් ද
ජීර්ණක හමු වේ.
ii.
න්‍යෂ්ටික
අමුද්‍රව්‍ය
තෝරියනයිට් හා තෝරයිට් න්‍යෂ්ටික අමුද්‍රව්‍ය අඩංගු ඛනිජ
රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ද මොනොසයිට් කායිකාවල සහ කුදිරමලේ ප්‍රදේශයන්
හි වෙරළ ආශ්රිත ඛනිජ වැලි නිධි වල ද සංකේන්ද්‍රණය වී ඇත.
2. ලෝහමය කාණ්ඩය
යකඩ ලෝපස්, කැලිසියම් හා මැග්නීසියම් අඩංගු හුණුගල්, ඛනිජ වැලිවල අඩංගු ටයිටේනියම්, සර්කෝනියම් සහ විරල පාංශූ මූල ද්‍රව්‍ය, දියළු සමඟ සුළු වශයෙන් ඇති රත්තරන්, රීදී සහ ප්ලැටිනම් ලෝහමය කාණ්ඩයට අයත් වේ.
i.
යකඩ ලෝපස්
(යපස්)
ශ්‍රී ලංකාවේ යපස් වර්ග 2 කි.
1. සජල යකඩ ඔක්සයිඩ් ජියොතයිට්
2. මැග්නටයිට් නිධි
සජල යකඩ ඔක්සයිඩ් ජියොතයිට් සහ ලිමොනයිට් යන ඛනිජ වලින්
සෑදී ඇත. මේවා රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක තුළ සංකේන්ද්‍රණය වී ඇත.
මැග්නටයිට් නිධි විලගෙදර, පනිරෙන්ඩාව, බුත්තල සහ සේරුවිල යන ප්‍රදේශවල දක්නට ලැබේ.
ii.
සේරුවිල තඹ-මැග්නටයිට් නිධිය
ත්‍රිකුණාමලය ආසන්නයේ සේරුවිල පිහිටා ඇති තඹ-මැග්නටයිට් නිධියහි මැග්නටයිට් ලෝපස් ප්‍රමාණය මෙට්‍රික්
ටොන් මිලියන 4ක් පමණ බවත් 1% සිට 2% දක්වා තඹ ද 40% යකඩ ලෝහය ද අඩංගු වන බව සදහන්
වේ (සිරිවර්ධන, 2013). සුළු ප්‍රමාණවලින්
සින්ක්, නිකල්, කොබෝල්ට්, රිදී සහ බිස්මත් ද සමග අංශු මාත්‍ර ලෙස රත්තරන් ද ඇති බව
නිධියේ ආදර්ශක හර විදුම් විශලේෂණයන්ගෙන් අනාවරණය වී ඇත.
iii.
අනර්ඝ ලෝහ
(Precious Metals)
රත්නපුර අවට කළු
ගඟ හා බලන්ගොඩ හා කල්තොට අවට වලවේ ගඟ ආශ්‍රිතව ගංගා පත්ලේ මැණික් තිබෙන අවසාදිතවල
මෙට්‍රික් ටොන් එකකට ග්‍රෑම් 9 දක්වා ප්‍රමාණයකින් රත්රන් සාන්ද්‍රණය වී ඇති බවට
සොයා ගෙන ඇත (සිරිවර්ධන,
2013). ශ්‍රී ලංකාවේ මධ්‍යම, බටහිර සහ දකුණු දිග ප්‍රදේශයන් හි
ගංගා දියළු අවසාදිතයන්හි ඉතා සුළු වශයෙන් රත්රන් හා ප්ලැටිනම් පිහිටා ඇති බවට
වාර්තා වේ.
iv.
ස්ඵටික
හුණුගල් (කිරිගරුඩ)
කාබනේට වශයෙන් කැල්සියම් හා මැග්නීසියම් අඩංගු ස්ඵටික හුණුගල් නිධි මහනුවර, මාතලේ, රත්නපුර, බදුල්ල, පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල පිහිටා ඇත. කොළ පැහැති සර්පෙන්ටින් බවට පත් කිරිගරුඩ රූපහ ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී ඇත.
v.
වෙරළ ඛනිජ
වැලි
කිලෝමීටර 10 පමණ දිගකින් හා මීටර 100 පමණ සාමාන්‍ය
පළලකින් යුත් වෙරළ ඛනිජ වැලි සංචිතයක් පුල්මුඩේ වෙරළ ආශ්‍රිතව පිහිටා ඇත (සිරිවර්ධන, 2013). මෙම
සංචිතයෙහි වෙරළ ඛනිජ වැලි මෙට්‍රික් ටොන් මිලියන 6.0 පමණ අඩංගු වී ඇති බවත් එහි
70% ඉල්මනයිට්, 10% සර්කෝන්, 8% රූටයිල්, 0.3 % මොනොසයිට් සහ 1% ඉල්මනයිට් අඩංගු
වන බව සොයා ගෙන ඇත (සිරිවර්ධන, 2013). මෑතකදී කරන ලද සමීක්ෂණවලට අනුව මුලතිව් හා නිලාවේලි අතර නයාරු,
පුදවයිකට්ටු හා තෙවිකල්ලු යන ප්‍රදේශයන්හි නිධි තුනක් හදුනා ගෙන ඇත. තව ද ඊසාන දිග
වෙරළේ කිලෝමීටර 72ක් පමණ දිගකින් යුක්ත ප්‍රදේශයක ඉල්මනයිට් මෙට්‍රික් ටොන් මිලියන
6-8 ද රූටයිල් මෙට්‍රික් ටොන් මිලියන 0.9 ද සර්කොන් මෙට්‍රික්
ටොන් මිලියන 0.7 නිධි ඇතැයි වාර්තා වේ. තව ද පුත්තලම අවට ඇති වැලි නිධි වල 7%-8%
දක්වා ප්‍රමාණයක ඛනිජ වැලි ඇතැයි සොයා ගෙන ඇත(සිරිවර්ධන, 2013). මීට අමතරව ඛනිජ වැලි නිධි
ඉඳුරුව, බේරුවල, කැලණි ගංගා මෝය ප්‍රදේශය, මීගමුවට උතුරුදිග ප්‍රදේශය, කුදිරමලේ හා
මන්නාරම යන ප්‍රදේශවලට සංකේන්ද්‍රණය වී ඇත. දෙවුන්දර සිට හම්බන්තොට දක්වා වෙරළ
තීරයේ 15% - 20% ක ප්‍රමාණයෙන් ගානට් වැලි අඩංගු වේ(සිරිවර්ධන, 2013).
3. ලෝහමය නොවන ඛනිජ
ශ්‍රී ලංකාවේ
ලෝහමය නොවන ඛනිජ සාපේක්ෂව ලෝහමය ඛනිජ වලට වඩා වැඩියෙන් ව්‍යාප්ත ව පවතී. මිනිරන්,
තලාතු මිනිරන්, මැණික්, ඇපටයිට්, හුණුගල්, මැටි ලෝහමය නොවන ඛනිජ ලෙස හැදින්වේ.
i.
මිනිරන්
ලොව හොදම මිනිරන් වර්ගය ලෙස ශ්‍රි ලංකාවේ මිනිරන් සැලකෙන අතර මේවා ප්රාග් කේම්බ්‍රීය පාෂාණ තුල ධමනි සහ ගැබ් (pockets) වශයෙන් හෝ විස්තෘත පතුරු(disseminated flake) වශයෙන් පවතී. ආර්ථිකමය වටිනාකමක් ඇති ධමනි මිනිරන් විපරීත අවසාදිත පාෂාණයන්හි දැදුරු හා කුස්තුර ආශ්‍රිතව පවතී. මේවා හි 97% ත් 99% අතර කාබන් අඩංගු වේ(සිරිවර්ධන, 2013). මිනිරන් කුට්ටි, කැබලි හා කුඩු වශයෙන් අපනයනය කරයි. බෝගල, කහටගහ සහ කොළොන්ගහ මිනිරන් පත්වලට උදාහරණ වේ. මිනිරන් යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ තාපසහ නිෂ්පාදන, රෝධක පුවරු, වාත්තුමය ද්‍රව්‍ය, ලිහිසි තෙල්, පැන්සල් කූරු, කාබන් බුරුසු සහ බැටරි නිෂ්පාදනය කෙරේ.
ii.
තලාතු
මිනිරන් (මයිකා)
මේවා අතිභාස්මික ඩයික, ස්ඵටික හුණුගල්(මාබල්) හා
පෙග්මටයිට් පාෂාණ ආශ්‍රිතව පවතී. මධ්‍යම, ඌව, උතුරු මැද හා සබරගමුව යන පළාත් වල ව්‍යාප්තව
පවතී. මස්කොවයිට්, බයෝටයිට් හා ප්ලොගොපයිට් යන මිනිරන් වර්ග වාණිජමය වශයෙන් වැදගත්
වේ.
iii.
ධමනි
තිරුවාණ
99% කට ත් වඩා සිලිකන් ඩයොක්සයිඩ් අඩංගු පිරිසිදු සිලිකා
වර්ගයකි. සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත් වල ධමනි තිරුවාණ නිධි ව්‍යාප්තව පවතී. දේශීය
පිගන් කර්මාන්තය සදහා මේවා යොදා ගන්නා අතර වීදුරු භාණ්ඩ, උල්ලේඛ ද්‍රව්‍ය (abrasives), ඉලෙක්ට්‍රොනික උපාංග, වර්ණ රුපවාහිණි යන්ත්‍ර,
ප්‍රකාශ තන්තු (optical fibers), ප්‍රකාශ විද්‍යුත් කෝෂ
(photo-voltaic cells), කෘතිම අස්ථි නිෂ්පාදන සදහා යොදා ගැනේ.
වාර්ෂික නිෂ්පාදනයෙන් 75% ක් අපනයනය කෙරේ (සිරිවර්ධන,
2013).
iv.
පොස්පේට්
පාෂාණ (ඇපටයිට්)
පොස්පේට් පාෂාණ නිධියක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ
එප්පාවල පිහිටා තිබේ. මෙම නිධියේ 32%-37% තරම් පොස්පරස් පෙන්ටොක්සයිඩ් (P2O5) පවතින අතර ස්ථානීය වශයෙන් ක්ෂරණය වූ කලාපවල මෙය සංකේන්ද්‍රණය වී ඇති ප්‍රතිශතය
70% දක්වා වැඩි විය හැක(සිරිවර්ධන, 2013).
v.
ෆෙල්ඩ්ස්පාර්
විශාලම ෆෙල්ඩ්ස්පාර් නිධිය මාතලේ කායිකාවල ඕවැල්ල වත්තේ
දක්නට ලැබේ. මතුපිට සිට මීටර 200ක පමණ ගැඹුරට පිහිටා ඇති අතර මෙට්‍රික් ටොන්
මිලියන 3කට අධික සංචිත පිහිටා ඇතැයි සදහන් වේ (සිරිවර්ධන, 2013). මෙම ඛනිජය වීදුරු සහ පිඟන්
භාණ්ඩ නිෂ්පාදනයට භාවිත කෙරේ.
vi.
සිලිකා
වැලි
මෙම ඛනිජය 98% කට වඩා සිලිකන් ඔක්සයිඩ (SiO2) අඩංගු වේ. මෙට්‍රික් ටොන් මිලියන 6 ක් පමණ සංචිත වූ පිරිසිදු සිලිකා වැලි නාත්තන්ඩිය, මාරවිල සහ මාදම්පේ යන ප්‍රදේශවල පැතීරි පවති. මීට අමතරව ඒකල සහ වයඹ දිග වෙරළ තීරයේ දළුව-සින්නපාඩුව සහ යාපන අර්ධද්වීපයේ අම්පන් යන ප්‍රදේශවල සිලිකා වැලි ගැබ් (pockets) හමු වී තිබේ.
vii.
මයෝසීන
හුනුගල්
මයෝසීන හුනුගල් තීරයක් ලෙසින් පුත්තලම සිට මුලතිව් දක්වා
වයඹ දිග වෙරළ තීරයේ පැතීරී පවති.කැල්සියම් කාබනේට් (CaCO3)
95% කට වඩා අඩංගු මයෝසීන
යුගයට අයත් අවසාදිත පාෂාණයක් වන මේවා ශ්‍රී ලංකාවේ පෝට්ලන්ඩ් සිමෙන්ති නිෂ්පාදනය
සදහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයකි.
viii.
හිරිගල් හා
සිප්පි කටු
හිරිගල් නිධි අම්බලන්ගොඩ සිට මාතර දක්වා වූ වෙරළ තීරයේ ද
කුච්චවේලි, පුත්තලම, කල්පිටිය, ඩෙල්ෆ්ට් සහ යාපනය අර්ධද්වීපයේ ද දක්නට ලැබේ. ඉතා
හොද වර්ගයේ ඇඟිලි/කෝටු හිරිගල් සහ බැර කුට්ටි හිරිගල් නිධි අකුරල-හික්කඩුව ප්‍රදේශයේ
පිහිටා ඇත. මෙම හිරිගල් දේශීය හුණු කර්මාන්තය සදහා යොදා ගැනේ. වෙරළට
සමාන්තරව කිලෝමීටර 15ක් පමණ දිගට හා රට තුළට කිලෝමීටර 2-3 පළලකින් යුත් සිප්පි නිධි හුංගම ප්‍රදේශයේ දක්නට ලැබේ. 98% කට ත් වඩා ඉහළ කැල්සියම් ප්‍රතිශතයක් අඩංගු
මුහුදු බෙලි කටු හුණු නිෂ්පාදනය සදහා ද කුකුල් කෑම සදහා ද යොදා ගැනේ(සිරිවර්ධන, 2013).
ix.
මැටි
පිගන් මැටි ප්‍රධාන වශයෙන් කෙයොලින්, බෝල මැටි, තාපසහ(refactory) මැටි, ගඩොල් සහ උළු මැටි වශයෙන් පවතී. සංචිත ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියනයකට ත් වැඩි විශාලම කෙයොලින් නිධිය බොරලැස්ගමුවේ පිහිටා ඇත. මීට අමතරව මීටියාගොඩ, ඉරනමඩු, කැලණි ගඟට උතුරින් පිහිටි ප්‍රදේශය, බලන්ගොඩ, නුවරඑළිය සහ වටවල ප්‍රදේශ වල කෙයොලින් නිධි පිහිටා ඇත. බෝල මැටි නිරිත දිග ප්‍රදේශයේ ගංගා පිටාර තැනිවල පිහිටා ඇත. හොදම නිධිය පිහිටා තිබෙන්නේ දෙදියවල ප්රදේශයේය. එහි ඇති සංචිත ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 0.5 පමණ වන බව නිමානය කර ඇත(සිරිවර්ධන, 2013). ගඩොල් සහ උළු මැටි සැලකිය යුතු ප්‍රමාණයක් සියලුම ප්‍රධාන ගංගාවල පහළ නිම්න ප්‍රදේශවල දක්නට ලැබෙන අතර විශාල ලෙස සිමෙන්ති මැටි සම්පත් වයඹ දිග රල්මඩු-අච්චලමය සහ මුරුක්කන් යන ප්‍රදේශවල ව්‍යාප්තව පවතී.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පස් වර්ගවල ස්වභාවය සහ ව්‍යාප්තිය
ශ්‍රී ලංකාවේ පළමු පාංශූ සිතියම ආචාර්ය සී. ආර්.
පානබොක්කේ මහතා විසින් 1971 දී ප්‍රකාශයට පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ පාංශූවල
ස්වභාවය සහ ව්‍යාප්තිය අනුව ආචාර්ය පානබොක්කේ මහතා විසින් 1996 දී මහා පාංශූ ගණ (Great Soil Groups) 15 ක් හදුන්වා දී ඇත.
වියළි කලාපීය හා අර්ධ-වියළි අතරමැදි කලාපීය පස් වර්ග
1. රතු දුඹුරු පස (Reddish
Brown Earth)
2. අව හියුමික ග්ලේ පස (Low Humic
Gley Soils)
3. චූර්ණමය නොවන දුඹුරු පස
(Noncalcic Brown Soils)
4. රතු කහ ලැටසෝල් පස (Red –
Yellow Latosols)
5. දියළු පස (Alluvial
Soils)
6. සොලඩයිස්ඩ් සොලොනෙට්ස් (Solodized
Solonetz)
7. රෙගොසොල් පස (Regosols)
8. පැරණි දියළු පස (Soils on
Old Alluvium)
9. ග්රුමුසොල්ස් පස(Grumusols)
10. අපරිණත දුඹුරු ලෝම් පස (Immature
Brown Loam Soils) (dry zone sub group)
තෙත් කලාපයීය හා අර්ධ-තෙත් අතරමැදි කලාපීය පස් වර්ග
11. රතු කහ පොඩ්සොලික් පස (Red
– Yellow Podzolic Soils)
12. රතු දුඹුරු ලැටොසොලික් පස (Reddish Brown Latosolic Soils)
13. අපරිණත දුඹුරු ලෝම් පස (Immature
Brown Loam Soils)
14. වගුරු හා අර්ධ වගුරු පස
(Bog and Half-Bog Soils)
15. පැරණි රතු හා කහ වැලි මත වර්ධනය වූ ලැටොසොල් හා රිගොසොල්
(Latosols & Regosols on Old Red & Yellow
Sands)
සිතියම අංක 2: ශ්‍රී
ලංකාවේ ප්‍රධාන පාංශූ ගණවල දළ අවකාශීය ව්‍යාප්තිය
මුලාශ්‍රය: European Soil Data Centre, 2020
|
|
1. රතු දුඹුරු පස (Reddish Brown Earth)
රතු දුඹුරු පස වියළි කලාපය තුළ විශාල ප්‍රදේශයක් පුරා
බහුල ලෙස ව්‍යාප්ත වූ මහා පාෂාණ ගණයකි. වියළි කලාපයේ උස් බිම් මුදුන්වල ද මනා
ජලවහනයකින් යුත් රැළි සහිත භූමින්හි ඉහළ හා මධ්‍යම බෑවුම්වල ද මෙම පස් වර්ගය කැපී
පෙනෙන ලෙස ව්‍යාප්ත වී ඇත. තව ද මෙම පස් වර්ගය අතරමැදි කලාපයේ රැලි මෙන් නැගී සිටි
උස්බිම් භූමි වල කුඩා ප්‍රමාණයෙන් ව්‍යාප්ත වී ඇති බවට සොයා ගෙන ඇත. මතුපිට පාංශූ
වර්ණය වියළි තත්වයේ දී එයටම ආවේණික වූ රතු දුඹුරු පැහැයක් ගන්නා අතර තෙත් වූ විට
දී අදුරු රතු දුඹුරු පැහැයක් ගනී. සාමාන්‍යෙයන් පාංශූ පැතිකඩහි පාංශූ මහල්
පිළිවෙලින් A,BAt,Bt,BCt හා C ලෙසින් පිහිටා ඇත (Panabokke, 1996). A මහල 12.5 cm-25cm ගැඹුරකින් යුක්ත වන අතර මධ්‍යස්ථ සියුම් වයනයකින් යුක්ත වේ. පසෙහි වයනය
වැලි ලෝම් සිට වැලි මිශ්‍ර මැටි වේ. B මහල තිරුවාණ කැබලි,
යපස්, යකඩ–මැංගනීස් ගැටිති සහ ෆෙල්ඩ්ස්පාර් මිශ්‍ර බොරලු
තට්ටුවකින් සෑදී ඇත. මතුපිට පාංශු ව්‍යූහය දුර්වල සිට මධ්‍යම, රළු, අනුකෝණාකාර
කැටිති (Subangular blocky) දක්වා වේ. මනා ජල සම්පාදන ක්‍රමයක්
යටතේ සාර්ථකව වාර්ෂික හා බහු වාර්ෂික බෝග වගා කිරීමට මෙම පස යෝග්‍ය වේ.
2. අව හියුමික ග්ලේ පස (Low Humic Gley Soils)
දිගු කාලීනව සිදු වූ භූ දර්ශන ක්‍රියාවලියක හේතුවෙන්
ගුරුත්වය නිසා දළ බෑවුම් පාමුල ඒකරාශී වුණු පාෂාණ කොටස් සහිත හෝ රහිත පාංශූ ද්‍රව්‍ය
එනම් අවළු ද්‍රව්‍ය (Colluvium)
මත වර්ධනය වූ හයිඩ්රොමාපික පසකි (Hydromophic soil:අන්තර්
කලාපීය පස) . ශ්‍රී ලංකාවේ පහත් බිම්වල ව්‍යාප්ත වූ පස් වර්ගයකි. මතුපිට පසහි
වර්ණය අදුරු අළු දුඹුරු පැහැයේ සිට අදුරු
අළු පැහැයක් ගන්නා අතර අළු පැහැයේ සිට කහ දුඹුරු පැහැයක් ගනී. A මහල වැලි ලෝම් සිට වැලි මිශ්‍ර මැටි දක්වා ත් B මහල වැලි මැටි සිට මැටි දක්වා ත් සමන්විත වේ. ඒ අනුව පාංශූ මහල් පිළිවෙලින්
A,E,Btg,C වේ (Panabokke, 1996). වියළි
කලාපය තුළ මෙම පස රතු දුඹුරු පස සමගින් හෝ චූර්ණමය නොවන දුඹුරු පස සමගින් සම්බන්ධ
වී පවති. සියුම් මඩ වී ගොව්තැන සදහා සුදුසු වේ.
3. චූර්ණමය නොවන දුඹුරු පස (Noncalcic Brown Soils)
මෙහි මතුපිට පස තද දුඹුරු සිට තද අළු දුඹුරු දක්වා වූ
පැහැයක් ගනී. උප මහල කහ රතු පැහැයේ සිට කහ දුඹුරු පැහැයක් ගනී. A මහලහි සාමාන්‍යය ගැඹුර 15cm-25cm පමණ වන අතර ඉතා තුනී හ්‍යුමස් ස්තරයක් සහිත වැලි ලෝම් පසින් යුක්තයි.
මෙම පසෙහි B මහල වැලි ලෝම සිට වැලි මැටි ලෝම් පසින් සෑදී
ඇති අතර එහි ඝනකම 60cm ක් පමණ වේ. B මහලේ පහළ ස්තරය තිරිවාණ පාෂාණ කැබැලිවලින් යුක්තයි. පාංශු පැතිකඩහි
මහල් පිළිවෙලින් A, E,B(BA,B,BC)t,C (Panabokke, 1996). පෙරොමැග්නීසීයම් ලවණ අඩු බැවින් C
මහල සුදු-අළු පැහැයක් (Light) ගනී. මතුපිට පාංශු ව්‍යූහය දුර්වල, අනුකෝණාකාර කැටිති (තියුණු දාර
සහිත අක්‍රමවත් කුට්ටි) වේ. රළු වයනය සහිත චූර්ණමය නොවන දුඹුරු පස මඩකලපුව සහ
අම්පාර යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙනුත්
මධ්‍යස්ථ වයනයකින් යුත් චූර්ණමය නොවන දුඹුරු පස මොනරාගල අවට සහ කුරුණැගල දිස්ත්‍රික්කයේ
මාහෝ යන ප්‍රදේශය අවට දක්නට ලැබේ. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර සහ සැවනා වර්ගයේ
වෘක්ෂලතා මේ ආශ්‍රිතව දැක ගත හැක. මෙම පස පෙරොමැග්නීසීයම් ලවණ අඩු බැවින් පෝෂ්‍ය
ගුණයෙන් ඌන වුවත් ප්‍රමාණවත් ජල සම්පාදනයක් සහ නිර්දේශිත පොහොර යටතේ බෝග වගා කළ
හැක. පවතින දිගු වියළි කාලය සහ තිරුවාණ මවු ද්‍රව්‍ය නිසා වරක් වගා කළ පසු නැවත පස
සරු වීමට දීර්ඝ කාලයක් ගත වේ.
4. රතු කහ ලැටසෝල් පස (Red – Yellow Latosols)
ශ්‍රී ලංකාවේ වයඹ, උතුරු සහ ඊසාන දිග වෙරළබඩ තීරයේ වෙරළේ
සිට 30m පමණ රට තුළට වන්නට 20km පමණ ඝනකමින් යුත් තීරුවක් මෙන් මෙම පස ව්‍යාප්ත වී ඇත්තේ හුණුගල් තට්ටු
මතය. පුත්තලමේ සිට මුලතිව් දක්වා වෙරළබඩ තීරයේ පටියක් ලෙසින් ව්‍යාප්තව ඇත. සුළු
වශයෙන් දකුණු (හම්බන්තොට) සහ ගිනිකොන (අම්පාර) වෙරළ තීරයන්හි ද ඉතා සුළු වශයෙන් (Isolated
patches) දක්නට ඇත. ප්ලයොස්ටීන යුගයට අයත් පැරණි නිධි සාධිත
පෘෂ්ඨයක ජීරණය වූ ද්‍රව්‍ය වලින් සෑදුනු මෙම පස ඉතා ගැඹුරු මනා ජලවහනයකින් යුක්ත
වේ. පාංශූ මහල් අතර පැහැදිලි වෙනසක් හදුනා ගත නොහැක. රතු ලැටසොල් පස උස් ප්‍රදේශවලත්
කහ ලැටසොල් පස පහත් බිම්වලත් පවති. චූර්ණමය වූ රතු ලැටසොල් ප්‍රධාන වශයෙන් යාපන
අර්ධද්වීපයේ ව්‍යාප්ත වී පවතී. රතු ලැටසොල්වල මතුපිට පසෙහි වර්ණය තද රතුද දුඹුරු
පැහැයක් ගන්නා අතර උප පස් ස්තරය තද රතු
පැහැයක් ගනී. A මහල ලෝම් වැලි හෝ වැලි ලෝම්වලින් සෑදි ඇති
අතර B මහල මධ්‍යස්ථ රළු වයනයකින් යුක්ත වේ. 12m පමණ ගැඹුරට යනතුරු B මහලෙහි උප මහල් අතර
පැහැදිලි වෙනසක් දක්නට නොලැබේ. පාංශූ පැතිකඩහි මහල් පිළිවෙලින් A,B,C වේ (Panabokke, 1996). ජලය රදවා ගැනීමේ හැකියාව අඩු ය. ජල සම්පාදන ක්‍රම
හා නිර්දේශිත පොහොර භාවිතයෙන් පලතුරු වගාව සාර්ථක ව කළ හැකි ය. වියළි කලාපයේ
මෙම පස් සහිත කලාපවල වගා කටයුතු සිදු නොකෙරේ. අතරමැදි සහ අර්ධ-තෙත් කලාපවල පොල්, අඹ සහ කජු වගා දක්නට ලැබේ.
5. දියළු පස (Alluvial
Soils)
පිටාර තැනිවල හා ගංගා නිම්න ආශ්‍රිතව ගංගාවලින් තැන්පත්
කරන අවසාදිත ද්‍රව්‍ය වලින් (Alluvium) මෙම පස නිර්මාණය වේ. මහවැලි, කැලණි, කළු, වලවේ සහ ගිං ගඟ වැනි තෙත්
කලාපීය ප්‍රදේශයන්හි ගලන ගංගා ආශ්‍රිතව ත් මල්වතු ඔය,දැදුරු ඔය හා මහකනදරා ඔය වැනි
වියළි කලාපයේ කාලීන ගංගා ආශ්රීතවත් ව්‍යාප්තව ඇත. මහවැලි සහ මල්වතු ඔය ආශ්රිත
පිටාර තැනිවල වැලි සහ මැටි ලෝම සහිත මෙම පස මූලිකවම සියුම් වයනයකින් පවතින අතර
සමහර තැන් හි රළු වයනයකින් ද යුක්ත වේ. ප්‍රමාණයෙන් කුඩා පිටාර තැනිවල හා නිම්න
ආශ්‍රිතව මධ්‍යම වයනයක් සහිත දියළු පසක් දක්නට ලැබේ. දියළු පසහි වයනය තීරණය වනුයේ
ඒ ඒ ගංගා මගින් තැන්පත් කරනු ලබන අවසාදිත ද්‍රව්‍ය වලිනි. දුර්වල ජලවහනයක් සහිත
දියළු පස ආවේණික වර්ණක (mottling) සහිත අදුරු පැහැයක්
ගන්නා අතර මනා ජලවහනයකින් යුත් පස මධ්‍යස්ථ ගැඹුරක සිට වර්ණක සහිත දුඹුරු පැහැයක්
හෝ කහ දුඹුරු පැහැයක් ගනී. උප පාංශු ස්තරයන්හි මූලික සන්තෘප්තතාවය සාමාන්‍යයෙන්
60% ත් 90% අතර වේ (Panabokke, 1996). තෙතමනය හා ඓන්ද්‍රීය කොටස්වලින් පෝෂිත මෙම පස ඕනෑම
බෝගයක් වැවීමට සුදුසු වේ. වී වගා කටයුතු සදහා බහුලව යොදා ගැනේ.
6. සොලඩයිස්ඩ් සොලොනෙට්ස් (Solodized Solonetz)
මෙම පස සාගරික තැන්පතු ඇති කලපු සහ උදම් කලාපවල ත් ශුෂ්ක
සහ අර්ධ ශුෂ්ක ප්‍රදේශවල අව හියුමික ග්ලේ පස ඇති අභ්‍යන්තර නිම්න ආශ්‍රිතව ත්
පැරණි දියළු පස් ඇති ගං මළු ආශ්‍රිතව ත් දක්නට ලැබේ. සෝඩියම් ලවණ අඩංගු මෙම පසහි A මහල වාළුව (Euvial Horizon)
ලක්ෂණ පෙන්වන අතර B මහල ස්තම්භික ව්‍යූහයක (Columnar
Structure) ස්වරූපය ගනී. වාළුව යනු ද්‍රාවනය හෝ අවලම්බනය නිසා ද්‍රව්‍ය
ඉවත් වීම සිදුවන මහලක් වන අතර ස්තම්භික ව්‍යූහය යනු සිරස් මුහුණත බෙහෙවින් සමතලා
වූ විශාල සිරස්ව පිහිටි දිගැති කඨෝර (Pans) වලින් සමන්විත වූවකි (කරුණාරත්න, 2009). A මහල අදුරු දුඹුරු පැහැයේ සිට ලා
පැහැයක් ගන්නා අතර රළු වයනයකින් යුක්ත වේ. B මහල අළු
පැහැයේ සිට අදුරු අළු පැහැයක් ගන්නා අතර මධ්‍යම සියුම් වයනයකින් යුක්ත වේ. මෙම පස්
සහිත ස්ථානවල කටු පදුරු සහිත තෘණ භූමි දක්නට ලැබේ. දමන ශාකය විශේෂයෙන් දක්නට ලැබේ.
7. රෙගොසොල් පස (Regosols)
වෙරළට ආසන්නව හෝ වෙරළ තීරය දිගේ මෑතකාලීනව පරිවහනය වූ
වැලිමත වර්ධනය වූ පසකි. වියළි කලාපයේ මෙම වැලි පස උද්ගත වෙරළ, මුහුදුබඩ තැනිතලා හා
වැලි වැටි ආදී භූ දර්ශන ආශ්‍රිතව දැකගත හැක. පාංශු වයනය සියුම් වැලි සිට මදක් රළු
වැලි දක්වා වේ. පසෙහි වර්ණය කහ දුඹුරු පැහැයේ සිට ලා දුඹුරු පැහැයක් ගනී. උප පස්
ස්තරයෙහි ජල සන්තෘප්තතාවය 75% ත් 90% ත් අතර වේ(Panabokke, 1996). වැලි පසෙන් ජලය ඉතා ඉක්මනින් කාන්දු වුව ද එම ජලය භූගත
ජලයට එක් වේ. මතුපිට පසෙහි කාබනික ද්‍රව්‍ය හා දිරාපත් වන ඛනිජ සුළු ප්‍රමාණයක්
පවති. ගැඹුරු මුල් සහිත බහු වාර්ෂික බෝග, පොල්, කජු වැනි ශාක වර්ග වගා කිරීම සදහා
යෝග්‍ය පසකි. මඩකලපුව සහ පුත්තලම දිස්ත්‍රික්කවල දිගු කාලීනව පොල් වගාව සිදු කෙරේ.
කල්පිටිය අර්ධද්වීපයේ කාලීන බෝග එනම් මිරිස්, ලූණූ, එළවළු සහ අල වර්ග නොගැඹුරු ළිං
ජල භාවිත කරමින් වගා කෙරේ.
8. ග්රුමුසොල්ස්
(Grumusols)
ග්රුමුසොල්ස් යාපන දිස්ත්‍රික්කයේ මුලතිව් සහ මන්නාරම
දිස්ත්‍රික්ක අතර මායිම්ව පිහිටි තුන්නුක්කායි ප්‍රදේශයේ පලි ආරු, පරන්ගි ආරු සහ
නායි ආරු ගංගා ආශ්‍රිතව දක්නට ලැබේ. යාල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව ත් මෙම පස
දැකිය හැක. මෙම පස ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රදේශයක ව්‍යාප්ත වුව ද මව් පාෂාණ ද්‍රව්‍ය
හා භූ දර්ශනයන්ට ආදාළව පස නිර්මාණය පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක. මෙම පස
ආග්නේය පාෂාණ ද්‍රව්‍ය වලින් හෝ මැටි වලින් පොහොසත් වූ මව් පාෂාණයන්ගෙන් නිර්මාණය
වේ. ශ්‍රී ලංකාවේ මෙම පස වර්ධනය වීම දක්නට ලැබෙන්නේ මෑත කාලීනව හෝ ඊටත් මෑත කාලීනව
ජලයෙන් වැසී තිබු දියළු මැට්ටෙනි. පාංශු පැතිකඩහි B මහලක් දැකිය නොහැකි අතර A මහල සහ C මහල පමණක් දැකිය හැකි වේ. A මහලෙහි වර්ණය කළු
පැහැති හෝ තද අදුරු අළු දුඹුරු පැහැති වේ. මෙම පස ශාක වර්ධනය සදහා යෝග්‍ය නොවේ.
9. රතු කහ පොඩ්සොලික් පස (Red – Yellow Podzolic Soils)
මෙම පස් ප්‍රධාන වශයෙන් පහතරට සහ උඩරට තෙත් කලාපයේ ව්‍යාප්තව
ඇත. අර්ධ-තෙත් සහ අර්ධ-වියළි කලාපවල සුළු වශයෙන් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ නිරිත දිග දෙසින්
ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල,මාතර, රත්නපුරය, කෑගල්ල,මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන
දිස්ත්‍රික්කවල බහුල ලෙස ත් තෙත් කලාපයට ඉතා ආසන්නව මොනරාගල, කුරුණැගල යන දිස්ත්‍රික්කවල
ත් මෙම පසහි ව්‍යාප්තිය මැදි වශයෙන් හෝ අඩු වශයෙන් දක්නට ලැබේ. ප්‍රාග්කේම්බ්‍රීය
විපරිත පාෂාණ අවළු ද්‍රව්‍ය වලින් නිර්මාණය වුන මෙම පස අළු දුඹුරු සිට කහ දුඹුරු
පැහැයක් ගනී. කළු ගඟ නිම්නයේ ගං මළු ආශ්රිත පැරණි අවසාදිත තැන්පතු වල ද මෙම පස
දැකිය හැක. A මහල උප පෘෂ්ඨීය මහල් දෙකකින් යුක්ත වන අතර
ඉහළ මහළෙහි පවතින පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය ඉතා ස්වල්පයක් වන අතර ජීරණය වන
පාෂාණයන්ගෙන් ලබා ගන්නා පෝෂක ද්‍රව්‍ය අධික වර්ෂාව නිසා නිතර සෝදා යාමකට
ලක්වේ. මෙම පස් සහිත කලාපවල වැඩි වශයෙන්
තේ,පොල්,රබර් වැනි වානිජ බෝග ද සුළු වශයෙන් එළවළු සහ ගෙවතු බෝග වගා ද සිදු කරනු
ලැබේ.
10 රතු දුඹුරු ලැටොසොලික් පස (Reddish Brown Latosolic Soils)
මෙම පස බහුල ලෙස මහනුවර දිස්ත්‍රික්කයේත් එම දිස්ත්‍රික්කයට
ඉතා ආසන්නව කුරුණැගල,කෑගල්ල, නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්කවලත් මැදි වශයෙන්
හෝ අඩු වශයෙන් ව්‍යාප්ත වී ඇත. මෙම පසෙහි පෘෂ්ඨීය මහලහි වර්ණය රතු දුඹුරු සිට
දුඹුරු පැහැයක් ගන්නා අතර B මහල රතු
පැහැයේ සිට තද රතු දුඹුරු පැහැයක් ගනී. වයනය වැලි මැටි ලෝම් සිට මැටි ලෝම් දක්වා
විය හැක. මනා ව්‍යුහයක් ඇති උපරිම ජලය රැදීමේ ධාරිතාවයකින් යුත් පාරගම්‍ය සුළු මෙම
පස වගා කටයුතු සදහා යෝග්‍ය වේ.
මීට අමතරව, වියළි කලාපීය හා අර්ධ-වියළි අතරමැදි කලාපීය පස් වර්ගයක් වන පැරණි දියළු පස,
නැගෙනහිර ප්‍රදේශයේ පැරණි නිම්න පද්ධතිවල තැන්පත් වූ වැලි මත පිහිටා ඇත. තෙත්
කලාපයීය හා අර්ධ-තෙත් අතරමැදි කලාපීය පස් වර්ගයක් වන
වගුරු හා අර්ධ වගුරු පස, ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල,මාතර හා රත්නපුර යන දිස්ත්‍රික්කවල
ව්‍යාප්ත ව ඇත. පැරණි රතු හා කහ වැලි මත වර්ධනය වූ ලැටොසොල් හා රිගොසොල් පස, වෙරළට
ඉතා ආසන්නව කොළඹ, ගම්පහ හා පුත්තලම (ගම්පහ දිස්ත්‍රික්ක මායිමේ සිට හලාවත ප්‍රදේශය
දක්වා) යන දිස්ත්‍රික්කවල ත් කූරුණැගල දිස්ත්‍රික්කයේ ත් සුළු වශයෙන් දැක ගත හැක.
ආශ්රිත ග්රන්ථ
කරුණාරත්න, එච්. කේ. එන්. (2009). පාංශු ගෝලය:නිර්මාණ සාධක,ගුණාංග සහ පාංශු ගණ.විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
කෙහෙල්පන්නල කේ.වී.ඩබලිව්.(2013). භූවිද්‍යාව. ශ්‍රී ලංකා ජාතික සිතියම් සංග්‍රහය. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
බණ්ඩාරනායක ජී.එම්.(2012).භෞතික භූගෝලවිද්‍යාව:දේශගුණය,පස සහ පරිසර පද්ධති.ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
වීරසේකර ටී.වඑස්.බී.(2013). පස. ශ්‍රී ලංකා ජාතික සිතියම් සංග්‍රහය. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
සිරිවර්ධන සී.එච්.ඊ.ආර්.(2013). ඛනිජ සම්පත. ශ්‍රී ලංකා ජාතික සිතියම් සංග්‍රහය. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
හේවාවසම් ටී.(2015).ඛනිජ,පාෂාණ සහ ශ්‍රී ලංකාවේ භූ විද්‍යාව. භූගෝල විද්‍යා ලිපි, 16, 23-27.
Arjuna's Atlas of Sri Lanka. (nd). https://www.archaeology.lk/5186/geological-map-sri-lanka-arjunas-atlas-of-sri-lanka
European Soil Data Centre (2020). https://esdac.jrc.ec.europa.eu/content/sri-lanka-showing-apprximate-distribution-great-soil-groups
Panabokke, C. R. (1996). Soils and
agro-ecological environments of Sri Lanka. NARESA.